5- භික්ෂුන්ගේ කුල භේදය

කුල භේදයට බුද්ධ ශාසනයෙහි කිසිත් අවසරයක් නැති බැව් ඉර හඳ මෙන් ප්‍රකට සත්‍යයකි. නොගිනිය හැකි තරම් දීර්ඝ කාලයක් පටන් දඹදිව බලපැවැත්වූ කුල භේදය බුදු රජාණන්වහන්සේ පයට පෑගෙන දුවිලි තරම්වත් නොසැලකු සේක. බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර සියල්ලන් මහන කොට, කිසිත් වෙනසක් නැතිව එකට ජීවත් වෙන්නට , එකට කෑම් පීම්, ඉඳුම්, හිටුම්, කරන්නට සැලසු සේක. රජගහ නුවර සුනීත නම් චණ්ඩාලයා (රොඩියා, පංචමයා) වැසිකිළි සහ කැළි කසල සුද්ධ කරන්නෙක් විය. පිඬු සිඟා වදින බුදු රජාණන්වහන්සේට දිනක් ඔහු මුණ ගැසුනේය. උන්වහන්සේ, මේ අතිශයින් පහත් යැයි සම්මත චණ්ඩාලයා විහාරයට කැඳවාගෙන ගොස් මහණ කළසේක. බුද්ධ හාසනයෙහි විනය ධාරින්ගෙන් අග්‍රස්තානයෙහි සිටි උපාලි ස්ථවිරයන් වහන්සේ ගිහි කල කෙස් රවුළු කපන පනික්කයෙකු විය.

සර්වඥ ශාසනය පිහිටා තිබෙන බලසම්පන්න ස්තම්භයන්ගෙන් එකක් නම් ‘ජාති භේදය හෝ කුල භේදය නැති කම’යි. ඉඩ ලැබුණු හැම අවස්ථාවකම බුදු රජාණන්වහන්සේ කුල භේදයට විරුද්ධව සටන් කල සේක. උන්වහන්සේගේ ජීවිතයෙන් විශාල කොටසක් මේ වෙනුවෙන් ගත කරන ලදී. කුල භේදයට විරුද්ධව පවත්වන ලද දේශනාවෝ ත්‍රිපිටකයෙහි හැම තැනම පාහේ දක්නා ලැබෙත්.

නමුත් ඒ ශාස්තෘන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා හැටියට අද පෙනී සිටින භික්ෂුන් අතර කුලභේදය, ගිහියන් අතර මෙන්ම, නැතහොත් ඊට වඩා බල සම්පන්නව ක්‍රියා කරන බැව් කියන්නට වීම සැබවින්ම ඉතාම කනගාටුදායක සිද්ධියකි. සියම්, අමරපුර, රාමන්ඥඥ යන තුන් නිකායේම කුල භේදය පවතිනා වග අලුතින් සොයාගන්නා ලද්දක් නොවේ.අමරපුර, රාමඥඥ දෙනිකායෙහි චාරිත්‍රයක් වශයෙන් කුල භේදය නැතත්, බොහෝ තැන්වල පන්සලක් පාසා කුල භේදය පවතිනා බැව් නොරහසකි. කොළඹ නගරයේ අමරපුර නිකායට අයත් හැම පන්සලක්ම පාහේ විශේෂයෙන් යම්කිසි කුලයක භික්ෂුන් වෙනුවෙන් ඒ කුලයට අයත් දායකයින් විසින්ම ගොඩනගන ලද්දකි. මෙය බොහෝ දෙනා දන්නා සත්‍යයකි. එක එක කුලයට එක එක පන්සල බැගින් පැන නැගීමේ භයානක සිරිත හැම පලාත්වලම පැතිරී යනු දැක්ම මහත් කනගාටුවකි.

අමරපුර, රාමන්ඥඥ දෙනිකායෙහි මහණ උපසම්පදා කිරීමේදී චාරිත්‍රයක් හැටියට ප්‍රසිද්ධව කුල භේදය නොපැවැත්වුවද, අභ්‍යන්තරිකව නම් එහිද කුල භේදය නොඅඩුවම ක්‍රියා කරයි. මෙහිදී මට විශේෂයෙන් වුවමනා කරන්නේ, උන්වහන්සේලාගේ අවසරය පිට, සියම් නිකායේ ශාසනික චාරිත්‍රයක් හැටියට පවත්වන කුල භේදය සම්බන්ධයෙන් කතා කිරීමයි. ගොයිගම කුලයට අයත් නොවූ , ඊට වඩා පහත් යැයි අයුතු ලෙස සිතන, කිසිම කුලයක අයට මහණ උපසම්පදාව නොදීම සියම් නිකායේ පරම්පරාගත ශාසනික චාරිත්‍රයක් හැටියට පවත්වනු ලැබේ, කිසිකලෙක ලෝකයේ කුල භේදය සහමුලින් නැතිකළ හැකි යැයි මම නොසිතමි. නමුත් බුදුරජානන්වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයෙකුගේ ශාසනයෙහි චාරිත්‍රයක් හැටියට කුල භේදය පැවැත්වීම සැබවින්ම ඉවසිය නොහෙන බරපතල පාපයකි. මේ සිරිත බුද්ධ ශාසනයට කරන බලවත් අපහාසයකි. බුදුරජානන්වහන්සේ ගේ ධර්මයට පයින් ගැසීමකි.

සියම් නිකායේ මහා තෙරුන් වහන්සේලා ශාසන ශ්‍රී භාරධාරින් හැටියට අහන්කාරව කතා කරති. නමුත් ඇත්ත වශයෙන් උන්වහන්සේලා මේ අශාසනික, අවාසනාවන්ත චාරිත්‍රය පැවැත්වීම නිසා බුද්ධ ශාසනය නමැති ගොඩනැගිල්ලේ විශාල කොටසක් සහමුලින්ම බිඳ හෙලන බැව් මම යටහත්ව, අවංකව කියමි. උන්වහන්සේලා බුද්ධ ශාසනය නැති කරමින්, එය රකින්නන් හැටියට පෙනී සිටින බැව් ප්‍රසිද්ධියේ කියන්නට වීම මගේ සිතට ලොකු වේදනාවකි. මට කතාවක් සිහිවෙයි.

එක්තරා කතිකයෙක් චීනය පිලිබඳ විස්තරක් කරමින්, චීන රටේ මිනිසුන් ඉතා දුකසේ ජීවත්වන බවත්, සමහරවිට ඇතැම් දුප්පත් මිනිස්සු ජීවත්වීම පිණිස පොහොසතුන්ගේ වුවමනාවලට මැරෙන බවත් කීවේය. ‘ජීවත්වීම පිණිස මැරෙනවාය’ කීම හොඳ සිනාවකි. එසේම සියම් නිකායේ භික්ෂුන් වහන්සේලාද ශාසනයට අතිශයින් විරුද්ධ වූ කුලභේදයක් ඉදිරිපත් කොට ක්‍රියා කරමින්, එයින්ම ශාසනයේ බලවත් පදනමක් බිඳ හෙළා දමා, “අපි ශාසනය රකිමු” යැයි නුවනැතියන් හිනස්සමින් ප්‍රකාශ කරති. උන්වහන්සේලා ශාසනය නොව, ගොයිගම් කුලය රකින බවත්, ගොයිගම කුලයෙන් පිට අයට මහණ උපසම්පදාව නොදීමේ  ක්‍රියාවෙන්ම උන්වහන්සේලා ශාසනය කඩ කරන බවත්, ශාසනය නැතිකරන බවත් මම උන්වහන්සේලාට ඉතා යටත්ව දැනුම් දෙමි.

මෙය සිංහල රජකු විසින් නියම කරන ලද්දක් බවත්, පරම්පරාගතව පැවතගෙන එන සිරිතක් බවත් උන්වහන්සේලා කියති. නමුත් අප ගරු කරන්නේ රාජාඥාවටද? බුද්ධාඥාවටද? බුද්ධ ධර්මය පාගා දමා, මාන මදයෙන් මත්ව මුළාවූ, පෘථග්ජන රජෙකුගේ වචනයක් ගරු කිරීම, ඇදහීම උන්හැන්සේලට කොතරම් නින්දාවක්ද? පෙර සිට පැවතෙන බව කියා යම් කිසි වැරදි සිරිතක් නොකඩවා පැවැත්වීම තීර්තක ධර්මයකි. කාලාශෝක රජු දවස තීර්ථකයන විසින් බුද්ධ ශාසනයට එක කරන ලද දශ වස්තුන්ගෙන් එකක් නම් “කප්පති ආචින්න කප්පෝ” යන්නයි. එනම් “පරම්පරාවේ පැවත එන කොයි සිරිතක් නමුත් කැපය” යනුයි. මේ කුලභේදය පැවැත්වීමේ සිරිත බුදුරජානන්වහන්සේගේ ධර්මයටත් , විනයට හැම අතින්ම විරුද්ධ බැව් සියම් නිකායික උගත් භික්ෂුන්වහන්සේලා හොඳින්ම දනිති. එසේ දැන දැනත් පරම්පරාවෙන් පැවත ආ බැවින් එය කඩ කිරීමට භය වෙතොත්, එහිදී උන්වහන්සේලා තීර්ථක ධර්මයක් පිළිපදින බැව් කියන්නට වීම ගැන මම උන්වහන්සේලාගෙන් සමාව අයදිමි.

කුලපුත්‍රයා මහණ කලයුතු බැව් උන්වහන්සේලා කියති. ජාති කුලපුත්‍රයාය, ආචාර කුලපුත්‍රයායැයි කුල පුත්‍රයා දෙවදෑරුම් වෙයි. ලෝකයෙහි උසස් යැයි සම්මත කුලයක උපන් තැනැත්තේ ජාති කුලපුත්‍රයාය. උපන් කුලය කුමක් වුවත් යහපත් හැදීමෙන් හා හැසිරීමෙන් යුත් තැනැත්තේ ආචාර කුලපුත්‍රයා යි, උත්පත්තියෙන් උසස් කුලයක වුවද, හැදීමෙන් පහත් නම්, හෙතෙමේ මහණ කමට සුදුසු නොවෙයි. උත්පත්තියෙන් පහත් කුලයක වුවද, හැදීමෙන් උසස් නම්, හෙතෙමේ සුදුසු වෙයි. මෙසේ බලන විට ශාසනික පැවිද්ද සම්බන්ධයෙන් චරිතය මිස , කිසිසේත් උපන් කුලය ගැන කතාවක් ඉදිරිපත් නොවෙයි.

ශ්‍යාමනිකායික භික්ෂුන් වහන්සේලා මේ කුලභේදය පවත්වන අන්දම සිනාවට කරුණකි. උන්වහන්සේලා ගොයිගම නොවුවන් පැවිදි උපසපන් නොකරති. නමුත් පහත් යැයි සිතන ඒ මිනිසුන්ගෙන් කෑම්, බීම්, ඉඳුම්, හිටුම්, ආදී සංග්‍රහ ලබන්නටත්, ඔවුන් විසින් ගොඩනගන ලද පන්සල්වල සැපසේ ජීවත්වන්නටත්, ඔවුන්ගේ රථ වාහනවල ගමන් කරන්නටත් , ඔවුන්ගෙන් තවත් නොයෙක් දේ ලබන්නටත් කිසිත් ලැජ්ජාවක් නැතිව සතුටු වෙති. පහත් යැයි සම්මත උසස් ගෙදරක වැඩ කාරකමට සිටින ගොයිගම ළමයා උන්වහන්සේලා පැවිදිකර ගනිති. නමුත් ඒ ගෙදර ස්වාමියාගේ ළමයා පැවිදි කිරීම නොනිසි වැඩක් හැටියට පැහැර හරිති.

කුලභේදය සිංහලයන්ගේ දියුණුවට බලවත් බාධාවක් වී තිබේ. සිංහලයන් අතර කුලභේදය තහවුරු කරන්නන් භික්ෂුන් වහන්සේලා බැව් හොඳින් සිතා බලන්නෙකුට නම් රහසක් නොවේ. අනෙක් කුලවල අය සියම් නිකායේ මහණ නොකිරීම නිසා ලක්දිව කුලභේදය දරුණු වෙයි. ලක්දිව කුලභේදය තුනී කොට මහජනයා අතර සමගිය හා සමාදානය පිහිටුවීමේ ශ්‍රේෂ්ඨ භාරය සම්පුර්ණයෙන්ම වාගේ සියම් නිකායේ මහ තෙරුන්වහන්සේලා පිට රඳා පවත්නා බැව් සලකත්වා!

ලෝකයේ උගත්, ශීලාචාර , උසස් මිනිස්සු සියම් නිකායේ කුලභේදය ගැන අසා අප සිටිනා පහත් තත්වය ගැන අනුකම්පා කරති. සියම් නිකායේ මේ සිරිත ශීලාචාර මිනිසුන් අතරට පිළිකුලකි. නින්දාවකි. මේ ප්‍රශ්නය ගැන තවදුරටත් සිතා බලන විට, සියම් නිකාය මේ කාරණය සම්බන්ධයෙන් බෞද්ධ නාමයෙන් බොහෝ ඈත්ව සිටිනා බැව් කියන්නට වීම සැබවින්ම කනගාටුවකි. සියම් නිකයී, කුලභේදය නැති භික්ෂුන් වහන්සේලා බොහෝ සිටිනා බැව් මෙහිදී අමතක කලයුතු නොවේ. උන්වහන්සේලාට අපගේ නමස්කාරය හිමිය.

සියම් නිකායේ මේ අවාසනාවන්ත සිරිත මේතාක් පවත්වාගෙන ආ නමුත් අනාගතයේදී එය කඩ කරන්නට සිදුවන බැව් තරයේම විශ්වාස කරමි.

සියම් නිකායේ මේ කුලභේදය පවත්නා තුරු අනෙක් කුලයන්හි මිනිසුන්ට හිතවත්ව ඒ නිකාය ආශ්‍රය කල නොහැක. මේ පාපයෙන් තුරන් වන තුරු සිංහලයන් අතර අවංක, ස්ථිර සමගියක් බලාපොරොත්තුවීම උගහටයි. අනාර්යවූ , අශාසනික වූ, මේ භයානක පාපය මුලිනුපුටා දමන්නට ශාසනාභීවෘද්ධිකාමී, ශ්‍රද්ධාවත්, සත්පුරුෂ ගිහි පැවිදි උතුමන් වහ වහා ඉදිරිපත්වී ක්‍රියා කල යුතුයි. මේ වගටත්

ශාසනාභිවෘද්ධිය රිසි

වල්පොල රාහුළ
1933-11-23

පටුන

පසු වදන: මේ ලිපිය ලියා දැනට අවුරුදු  හැත්තෑපහක් පමණ ඉක්ම ගියමුත් අදත් ශ්‍යාමාපොලි වංශක භික්ෂුන් තවමත් ඒ දොසක් නොවන බව කියයි. ඒ ගැන මෑතක දී පළවූ ලිපියක් කියවන්න 
..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )